ප්රදේශයේ ඓතිහාසික පසුබිම් හා වැදගත්කම ;
මාතර දිස්ත්රික්කයේ ගිණිකොණ දෙසින් පිහිටා ඇති දික්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ව.කි.මී 16 ක පමණ වෙරළ තීරයකින් තම දර්ශනීයත්වය ඔප්නංවා ගෙන ඇත.මාතර හම්බන්තොට මහා මාර්ගයේ 7වන සැතපුම් කණුව අසල බෙලිවත්ත මංසන්ධියෙන් ආරම්භ වන මෙම කොට්ඨාශය 16 වැනි සැතපුම් කනුව අසල කෙමගොඩ දක්වා විහිදේ. දික්වැල්ල ප්රාදේශීය මහලේකම් කොට්ඨාසය උතුරින් කිරින්ද පුහුල්වැල්ල ප්රාදේශීය මහලේකම් කොට්ඨාසයෙන් ද, බටහිරින් දෙවිනුවර ප්රාදේශිය මහ ලේකම් කොට්ඨාසයෙන් ද , නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්රික්කයේ බෙලිඅත්ත හා තංගල්ල ප්රාදේශීය මහලේකම්කොට්ඨාසයන්ගෙන්ද , දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, මායිම් වේ.
කොට්ඨාසයේ වර්ග ප්රමාණය වර්ග කි.මී 51.2 (හෙක්ටයාර් 5120) ක් වන අතර මාතර දිස්ත්රික් භූමි ප්රමාණයෙන් 4%ක ප්රමාණයක් මීට අයත් වේ.ඓතිහාසික වටිනාකමකින් යුක්ත මෙම ප්රදේශයේ රාජ්ය අනුග්රහය ලැබ පාලනය සිදුවූ කාල වකවානුව තුළ ඉදිකරන ලද පූජනීය ස්ථාන 31ක් පමණ ඇත. ඓතිහාසික කුරුඹුරේ රජමහා විහාරය, වැවුරුකන්නල බුදුරජ මහා විහාරය, තැනුම්පත රජමහා විහාරය මේ අතුරින් විශිෂ්ඨ ගණයේ ලා සැලකිය හැකිය. මෙම විහාරස්ථානයන්හි දැනට ද පැරණි නෂ්ඨාවශේෂද දක්නට ලැබේ.මෙම විහාරස්ථානවල රත්තරන් හා මැණික් කැටයම් කළ බුදු පිළිම,පැරණි පුස්කොළ පිටපත්,ගිවිසුම්,දෝලා,ඉපැරණි පිහියා කටු ආදිය දක්නට ඇත.